Tuesday 27 September 2016

මෙය ව්‍යංගාර්ථය ගෙන එන පැදි පෙළකි.ළමයෙකුගේ සහ පඹයෙකුගේ සංවාදයක් ලෙස දැක්වුනද මෙය බාල,මහළු,සංස්කෘතික,දේශපාලනික,සමාජයීය ආදී වූ සියළු දැක්මන් තුළින් රසවිඳිය හැකිය.එකිනෙකාට ගරු කිරීමත් ගුණ නුවණ එකට මුසු කිරීමත් මෙහි අරමුණ වන අතර සාහිත්‍යමය සංවාදයකට දොරටු විවර කරමි.
පඹයෝ නුඹ ඔතන හිටන්
ඉන්නෙ මොකද නැතිව ගිමන්
කුරුලු රෑන් හිස්ව කුසින්!
වෙහෙස නිවාගන්න යමන්
ළමයෝ නුඹ නම් කියාවි
හැම කෙනාට තුටින් පේවි
ඉන්නෙ කෝම ටොකු අනීවි
මගෙ මැටි හිස නැතිව යාවි
පඹයා කියා කතාකලත්
නුඹට බොහොම කැමති මමත්
සෙල්ලම් කරනට හැකිමුත්
පාඩම් වැඩ මට තවමත්
කුරුල්ලන්ගෙ නිදහස ගැන
සිතන නුඹේ පියවර සන
උපදෙස් දෙයි මටත් සුගුණ
ගුණ නැණ ඇත නුඹ යන තැන
ඉවත හෙලා කණගාටුව
හිඳිනු මැනවි තුටු පහටුව
සදා දමමි කුරුලු ගොටුව
නුඹට ගෙනෙමි අලුත් ඔළුව
පිදුරු වලින් සැදි අත් පා
දුබල වුණත් වහන් දෙපා
නුඹගෙ නිසා නැත අත පා
තනිය මකනු ඔළුව එපා
අවුරුද්දට ලැබුනු ඇඳුම
නුඹට ගෙනෙමි එයයි පිදුම
තනියට හිටි මගේ කදිම
බෝනික්කව දෙන්නම් මම
~ඉන්දීවරී රත්නායක~

Friday 15 July 2016

~සිහින විමන~
(දෙවන කොටස )
එය සිදුවන්නේ මෙසේය;තිදෙනාගෙන් එක් අයෙකු යම් මොහොතකදී පවසන අනාවැකියක් ඉන් සුළු මොහොතකට පසු සත්‍ය වුවහොත් අනෙක් දෙදෙනාට ඇගෙන් පැනයක් ඇසීමට අවස්ථාව දෙනු ලැබේ.එසේ අසන ප්‍රශ්නද අනාගතය පිළිබඳව විය යුතුය.ඊට එවෙලේම පිළිතුරු සැපයිය යුතුය.පුදුමයක මහත නම්,මෙසේ පැවසූ අනාවැකි කිසිවක් නොවැරදීමය.මෙය මුලින් ඔවුන් සිදුකලේ විනෝදයට වුවද ප්‍රතිඵල පිළිබඳ මවිත වූහ.
ඔවුන් තිදෙනාම බෞද්ධ දැරියන් වූ අතර සිල් ගැනීමටත් භාවනා කිරීමටත් කැමැත්තක් දැක්වූවෝ සැහැල්ලු සිත් ඇති විනෝදකාමී පිරිසක් වූහ.ජ්‍යොතිෂය මෙන්ම ශාස්ත්‍ර පිළිබඳ විශ්වාස නොකළ ඔවුහු ඒවා විශ්වාස කරන්නන්ට අවමන් නොකළෝය.ගුප්ත ශාස්ත්‍ර වල කිසියම් සත්‍යයක් තිබිය හැකියැයි ඔවුන් සිතූ මුත් සිය නුවණට,තර්කයට ගෝචරවන දෑ පමණක් පිළිගැනීම මනා බැව් සැළකූහ.බුදුදහමේ පැවසෙන පරිදි සියල්ල සිදුවන්නෙ හේතුවකට අනුවම බැව් පිළිගත්හ.
නමුත් ඔවුන්ගේ මේ අනාවැකි පැවසීම කිසිවෙකුටත් පැහැදිලි කළ නොහැකි වූ බැවින් එය ඔවුන් තිදෙනා අතර රහසක් ලෙසම පැවතුණි.එය ඇරඹුනේ මෙසේය;
දිනක් ඔවුන් තිදෙනා බෝඩිම් කාමරයේ ජනේලය අසළට වී සතුටු සාමීචියේ යෙදී සිටියහ.එක් විටම කවුළුවෙන් පිටත පැවති දොඩම් ගසෙහි තිබූ කහ පැහැ ගත් ඉදුනු ගෙඩියක් දුටු විමුක්ති,"අනේ දොඩම් බීව කාලයක් මතක නැතැයි"කීවාය.
එවිට හඬ අවදි කළ මිහිරිනී,"අපොයි බය වෙන්න එපා.ඔය දොඩම් ගෙඩිය තව විනාඩියෙන් බිමට වැටෙනවා.."යි සිනාසෙමින් පැවසුවාය.
ගතවූයේ විනාඩියක් පමනි.කිසිදු සතෙකුට හසුවී නොතිබුනු දොඩම බිම වැටුනි.
"මේක හරි පුදුම වැඩක්නෙ.කොහොමද ඔයා ඒක කීවෙ?"
"මං දන් නෑ..මට හිතුනා."
"හරි,එහෙනම් මෙහෙම කරමු.ඔයා අපිට මේ දැන්ම අනාවැකිය ගානෙ කියන්න ඕනෙ"ඒ ඇගේ හඬයි."මට කියන්න,මං ලබන සතියේ විභාගය කළාට පස්සේ ලැබෙන ලකුණු වල සාමාන්‍ය කීයක් වෙයිද?"
"හරියටම තුනයි."
"ඔන්න මං අද දිනපොතේ ලියාගන්නව වෙලාවත් එක්කම.බලමු හරිද කියලා."
"දැන් මගෙ වාරෙ..මට කියන්න හෙට ඔෆිස් එකේදි මොකද වෙන්නේ?"
"ඔයා ජොබ් එකෙන් අයින් වෙනවා."
"මොකක්..?"
"තරහ වෙන්න එපා එහෙම කීවට.හේතුව කියන්න මං දන් නෑ,මට ඒක ස්ථිරයි."
මෙම අනාවැකි දෙකම සත්‍ය වූ අතර ඉන් පසු මෙවනි සිදුවීම් සිදුවන හැම අවස්ථාවකම අනාවැකි කීමට ඔවුහු පුරුදු වූහ.එය ඔවුන්ට සහනයක්ම ගෙනදුනි.මන්දයත් සිය දිවිමගේ දුකට පෙර සූදානම් වීමටත්,සතුටට උපේක්ෂාවෙන් මුහුණ දීමටත් එයින් ඔවුන් උගත් බැවිනි.අනාවැකි කිවූ පසු අනාගතය වෙනස් කිරීම නුපුළුවන් විය.හැකි වූයේ හිත හදාගැනීම පමණි!
~ඉන්දීවරී රත්නායක~
~සිහින උයන~
සිහිල් සුළං රැලි ගත වටා දැවටෙයි.ගුමු ගුමුව හා මුසුව මල් සුවඳ කලතමින් රැගෙන එන බැවින් වසත් කල උදාවී ඇතිබැව් දැනුම් දෙන්නාක් වැනිය.ඇය සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නී තණ බිස්ස පිසින සිය දිගු ගවුම දෑතින් ඔසොවාගත්තාය.තමා මෙහි පැමිණියේ කෙසේද?පැමිණි අරමුණ කුමක්ද?කිසිවක් ඇගේ සිහියට නොපැමිණෙයි.මේ රමණීය උයනේ අයිතිකරු කවුරුන්ද?කිසිවෙකු මල් ගොමුවක් අසළ වැඩක නිරතවෙනු ඇයට පෙනෙයි.ඔහු උයන්පල්ලෙකු විය යුතුය.ඉදින් ඔහුගෙන් නොවිමසා ලතැවෙන්නේ කුමකටද..
ඇය වහ වහා ඔහුවෙත ඇදෙන්නී කිහිප වරක්ම සිය නුපුරුදු දිගු ගවුම පැටලී වැටෙන්නට ගියාය.හදිසියේම කිසිවෙකු ඇය අමතනු ඇසී නැවතුණු ඇයට චාම් ලෙස සැරසුණු පුද්ගලයෙකු පෙනුණි.ඔහු පහලවූයේ කොතැනින්දැයි වටහා ගැනීමටත් පෙර ඇය අසළට පැමිණි ඔහු;
"අනවසරයෙන් අනුන්ගේ මල් උයන් වල ඇවිදීමට කීවේ කවුරුන්දැ?"යි ඇසුවේ අමණාපය පිරුණු මුහුණකිනි."මින් පසු අයිතිකරුගෙන් අවසර ගෙන පැමිණෙන්න."යැයි නැවත පවසා තුෂ්ණිම්බූතව සිටි ඇය කිසිවක් පවසන්නට පෙර වහ වහා යන්නට ගියේය.
සිහි එලවාගත් වහාම මෙහි අයිතිකරු කවුදැයි විමසාගත යුතු බැවින් ඇය උයන්පල්ලා කරා ඇදුනාය.තැන්පත් පෙනුමැති මහළු මිනිසෙකු වූ ඔහු මද සිනාපාමින් ඇගේ පැනයට පිළිවදන් දුනි.
"ඔබ කතාකලේ අයිතිකරු සමග තමයි."
වහා අවදිවූ ඇයට තමා සිහිනයක් දුටු බැව් පසක් වූ නමදු දහඩියෙන් පෙගුණු සිරුරැති තමා බිය වූයේ කුමකටදැයි නොදත්තාය.සත්තකින්ම එය සිහිනයක් පමණද?
ඇයට එය කිසිවෙකුට පැවසීමට අවැසි වූ නමුදු වේලාව රාත්රී දොළහ බැව් එවිටම ඔරලෝසු නාදයෙන් දැන්විණි. සිය නවාතැන්පල සිසාරා නෙත් හෙලූ ඇයට අඩ අඳුරේ දිස්වූයේ සැපට නිදන සිය මිතුරියන් දෙදෙනාය.තමාගේම සොයුරියන් වැනිවුවද සිහිනයක් නිසා ඔවුන් අවදි කිරීමට ඇගේ සිත නොදෙයි.කෙසේ හෝ පසුදින තෙක් ඉවසා සිටීමට සිතාගත් ඇය යළි කිසිදු සිහිනයක් නොදැක රැය පහන් කිරීමට සමත් වූවාය.
අලුයම අවදි වූ වහාම ඇගේ සිහියට පැමිණියේ පෙර දින රාත්‍රී දුටු සිහිනයයි.සිය මිතුරියන්ගෙන් එක් අයෙකු,මිහිරිනී අවදිව සිටිනු දුටු ඇය සිහිනය පිලිබඳ පැවසීමට ප්‍රථම කිරි තේ කෝප්පයක් තමාටත් ඇයටත් පිළියෙල කරගත යුතු යැයි සිතා සයනයෙන් නැගී සිටිත්ම,"අද මට කෝපි එකක් හදන්නැයි"මිහිරිනී කියූ වදන් අසා එතනම නැවතුනාය.
"කොහොමද දන්නේ මං තේ හදන්න යනවා කියලා?"
"මං දන්නවා.මට හිතුනා."
"ඊයේ රෑ හීනෙන්.."දෙදෙනාම එකවර පටන්ගත් වැකිය අවසන් නොකර පුදුම වී බලා උන්හ.
"මොකක්ද ඔයා කියන්න ගියේ?"ඇය මුලපිරුවාය.
"ඔයා හරියට හීනෙන් කතා කළා"මිහිරිනී පවසන්නී,බැරෑරුම් හැඟුමින් මුහුණ පුරවාගත්තාය.
"ආ..ඔව් මං හීනයක් දැක්කා."ඇය සිහිනය විස්තර කලාය.
"මට හිතෙනවා ඒ හීනෙ බොහොම ගැඹුරු තේරුමක් තියෙනවා කියලා.මට හිතෙනවා ඒක ඇත්තවෙන හීනයක් කියලා.."මිහිරිනී කියාගෙන යයි.
ඉතිරිය ඇසීමට පමා නොවූ ඈ සිය කල්පනා ලොවට පිවිසෙන්නී,පෙරද ඔවුන් තිදෙනා එකිනෙකා පිළිබඳව මෙසේ අනාවැකි කියූ අයුරුත්,ඒවා සත්‍ය වූ අයුරුත් සිහිකරන්නට වුවාය.
මතු සම්බන්ධයි.
~ඉන්දීවරී රත්නායක~

Friday 24 June 2016

නොදනිමි
නුඹේ හැගුම්!
අඳුරු වී ඇත,
මා ලොව..
අඳුරෙහිම
ඇත පත ගා
දැල්වූ
ම හැගුම්
එළියෙන්
දකිමි
හදවතක්
මේසය මත!
සැබවින්ම
එය
නුඹගේද?
නැත්නම්
මගේමද?
~ඉන්දීවරී රත්නායක~

Tuesday 14 June 2016

හද මනිපත් හැගුම් සලා
ආල කැකුල මෝදු වෙලා

මුදු පෙති දිග හරින්නේද
සුසුවඳ හැමටම දෑනෙයිද?

ඔබේ වදන් උල්පත් දිය
කැකුළු පවස සන්සිඳිය

කාලය ගතවත්ම බෝම
පෙති එකිනෙක හැරෙයි පේම

"කිම්ද පිපෙනු මෙපමණ කල්
අවැසි නොවේ නුඹගේ මල්

ආලය නොකරමි නුඹ හට
කිසි දින හද නොවේ නුඹට"

ඇසුවිට ඒ මිහිරි වදන්
ගිලන්ව මල විය මිහිදන්

නමුදු ගසේ අනෙකුත් මල්
ගෙනෙයි එමල සුවද ලකල්
~ඉන්දීවරී රත්නායක~

Tuesday 31 May 2016

නැවත මා
සුමියුරු
මිතුරිය වනු මැන!
..පවසාවි ඔබ

මිතුරු හැඟුමින්
ඔබ සිත දොවා
රවටනු
කෙලෙස මම
මා මෙන් ඔබවද..

මගෙ දිවියම
ඔබය සුමිතුර!

(නැති රටේ නැති කෙනා වෙත ලියමි.)




Saturday 23 April 2016

හැමදාමත් මා සෙව් ඒ
පරම සුවය ලබාගන්න
ඇයි අම්මේ ඉඩ නුදුන්නෙ
කසාවතක් පෙරවගන්න

සත්‍යයටයි මගේ ඇලුම
බහ තෝරන විය පටන්ම
අප්පච්චී ඒ නුදුටුව
සේ ඉන්නේ ඇයිද තවම

උතුරු සළුව කරේ දමන්
පෝය දිනට සිල් අරගෙන
මදි මට අයියේ සුදුවත
එපා කැමති වන අරණට

අක්කල හොඳහැටි අඬාවි
මගෙ දිගු කෙහෙ කපපු දාට
දැනටත් පන නැති කෙහෙ රැළි
කැපුවම මටවත් රිදෙයිද?

අකමැති ඔබෙ සිත් රිදුමට
තිත තැබීමි වදන් වලට
කවදද දින පැමිණෙන්නේ
මොක් සුව මා විඳින දාට!
කෙලෙසුන් මළ අත්හරින්න
කුසල් වඩා සිත පිනන්න
සම සිත දැහැමින් ගෙවන්න
සමිඳුනි මට පිහිට වෙන්න
බෝ මැඩ සෙවනේ හිමිදිරි යාමේ
පවිටු අඳුරු දුක සේදී         සාමේ

කෙලෙස් සරතැසට හසු නොවුනාසේ
රජස්  හරින්නට යමි මම්       මනසේ

Tuesday 19 April 2016

1st station


සිතිවිලි


වෙන්වීම...


කුහුඹුවෙකි පොත මත..
කියවිය නොහැක මට දුවයි අකුරු උඩ
මසිත වෙනුවට,
ඌ..
දෙමි ඌට හොද
හයේ පහරක්!!
කුහුඹුවා මේසය මත
උගේ කඩිසර ගමන නැත.
සුසුම් ලයි ඌ
මේ කුමක් වීදැයි
කියන්නා සේ..
කුහුඹු පා බිදී ඇත.
දිවියකට වඩා පොත
මට වටින්නේ කවදා සිටද?
දකිමි මසිත..
සැනෙන් පරස්පර
සිතිවිලි හට ගැනෙන
~ඉන්දීවරී රත්නායක~