Friday 15 July 2016

~සිහින විමන~
(දෙවන කොටස )
එය සිදුවන්නේ මෙසේය;තිදෙනාගෙන් එක් අයෙකු යම් මොහොතකදී පවසන අනාවැකියක් ඉන් සුළු මොහොතකට පසු සත්‍ය වුවහොත් අනෙක් දෙදෙනාට ඇගෙන් පැනයක් ඇසීමට අවස්ථාව දෙනු ලැබේ.එසේ අසන ප්‍රශ්නද අනාගතය පිළිබඳව විය යුතුය.ඊට එවෙලේම පිළිතුරු සැපයිය යුතුය.පුදුමයක මහත නම්,මෙසේ පැවසූ අනාවැකි කිසිවක් නොවැරදීමය.මෙය මුලින් ඔවුන් සිදුකලේ විනෝදයට වුවද ප්‍රතිඵල පිළිබඳ මවිත වූහ.
ඔවුන් තිදෙනාම බෞද්ධ දැරියන් වූ අතර සිල් ගැනීමටත් භාවනා කිරීමටත් කැමැත්තක් දැක්වූවෝ සැහැල්ලු සිත් ඇති විනෝදකාමී පිරිසක් වූහ.ජ්‍යොතිෂය මෙන්ම ශාස්ත්‍ර පිළිබඳ විශ්වාස නොකළ ඔවුහු ඒවා විශ්වාස කරන්නන්ට අවමන් නොකළෝය.ගුප්ත ශාස්ත්‍ර වල කිසියම් සත්‍යයක් තිබිය හැකියැයි ඔවුන් සිතූ මුත් සිය නුවණට,තර්කයට ගෝචරවන දෑ පමණක් පිළිගැනීම මනා බැව් සැළකූහ.බුදුදහමේ පැවසෙන පරිදි සියල්ල සිදුවන්නෙ හේතුවකට අනුවම බැව් පිළිගත්හ.
නමුත් ඔවුන්ගේ මේ අනාවැකි පැවසීම කිසිවෙකුටත් පැහැදිලි කළ නොහැකි වූ බැවින් එය ඔවුන් තිදෙනා අතර රහසක් ලෙසම පැවතුණි.එය ඇරඹුනේ මෙසේය;
දිනක් ඔවුන් තිදෙනා බෝඩිම් කාමරයේ ජනේලය අසළට වී සතුටු සාමීචියේ යෙදී සිටියහ.එක් විටම කවුළුවෙන් පිටත පැවති දොඩම් ගසෙහි තිබූ කහ පැහැ ගත් ඉදුනු ගෙඩියක් දුටු විමුක්ති,"අනේ දොඩම් බීව කාලයක් මතක නැතැයි"කීවාය.
එවිට හඬ අවදි කළ මිහිරිනී,"අපොයි බය වෙන්න එපා.ඔය දොඩම් ගෙඩිය තව විනාඩියෙන් බිමට වැටෙනවා.."යි සිනාසෙමින් පැවසුවාය.
ගතවූයේ විනාඩියක් පමනි.කිසිදු සතෙකුට හසුවී නොතිබුනු දොඩම බිම වැටුනි.
"මේක හරි පුදුම වැඩක්නෙ.කොහොමද ඔයා ඒක කීවෙ?"
"මං දන් නෑ..මට හිතුනා."
"හරි,එහෙනම් මෙහෙම කරමු.ඔයා අපිට මේ දැන්ම අනාවැකිය ගානෙ කියන්න ඕනෙ"ඒ ඇගේ හඬයි."මට කියන්න,මං ලබන සතියේ විභාගය කළාට පස්සේ ලැබෙන ලකුණු වල සාමාන්‍ය කීයක් වෙයිද?"
"හරියටම තුනයි."
"ඔන්න මං අද දිනපොතේ ලියාගන්නව වෙලාවත් එක්කම.බලමු හරිද කියලා."
"දැන් මගෙ වාරෙ..මට කියන්න හෙට ඔෆිස් එකේදි මොකද වෙන්නේ?"
"ඔයා ජොබ් එකෙන් අයින් වෙනවා."
"මොකක්..?"
"තරහ වෙන්න එපා එහෙම කීවට.හේතුව කියන්න මං දන් නෑ,මට ඒක ස්ථිරයි."
මෙම අනාවැකි දෙකම සත්‍ය වූ අතර ඉන් පසු මෙවනි සිදුවීම් සිදුවන හැම අවස්ථාවකම අනාවැකි කීමට ඔවුහු පුරුදු වූහ.එය ඔවුන්ට සහනයක්ම ගෙනදුනි.මන්දයත් සිය දිවිමගේ දුකට පෙර සූදානම් වීමටත්,සතුටට උපේක්ෂාවෙන් මුහුණ දීමටත් එයින් ඔවුන් උගත් බැවිනි.අනාවැකි කිවූ පසු අනාගතය වෙනස් කිරීම නුපුළුවන් විය.හැකි වූයේ හිත හදාගැනීම පමණි!
~ඉන්දීවරී රත්නායක~

No comments:

Post a Comment